ආබාධ සහිත පුදගලයන් රැකියාගත කිරීමේ රජයේ වැඩසටහන Next Dream ඇරඹෙයි.
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මගින් ක්රියාත්මක ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීමේ Next Dream වැඩසටහන යටතේ ආබාධ සහිත පුද්ගලයන් සහ සේවා යෝජක ආයතන ලියාපදිංචි කිරීම සඳහා වූ අයදුම්පත අන්තර්ජාලයට යොමු කිරීම හා Next Dream වැඩසටහන පිළිබඳව මාධ්ය දැනුවත් කිරීම මැයි (22) පස්වරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්රධානත්වයෙන් ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීමේ අමාත්යාංශ ශ්රවණාගාරයෙදී පැවැත් වුනා.
"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" ප්රතිපති ප්රකාශයේ සඳහන් යුක්තිසහගත සම ප්රවේශයක් නිර්බාධිත සමාජ ජීවිතයක් යන ප්රතිපත්තියේ පිහිටා ක්රියාතමක වැඩසටහන් අතර ප්රමුඛ වැඩසටහනක් වන ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීම සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරන ඇති බවත්. ඒ අනූව ආබාධ සහිත පුද්ගලයෙකු රැකියාව සඳහා බඳවාගන්නා සේවා යෝජක ආයතනයට මාසයකට රුපියල් 15000ක උපරිමයකට යටත්ව ඔහුගේ වැටුපෙන් අඩක් මාස 24ක් ගෙවීමට සැලසුම් කර ඇති බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අමාත්‍ය උපාලි පන්නිල මහතා එහිදී අදහස් දක්වමින් සඳහන් කළා.
තවද ජන ලේඛණ හා සංඛ්යා ලේඛණ දෙපාර්තමේන්තු දත්තයන්ට අනූව බරපතල ආබාධ සහිත පුද්ගලයන් 721000ක් පමණ ශ්රී ලංකාවේ සිටින බවත් ඉන් අඩු ආදායම් ලාභී පවුලවල පුද්ගලයන් 171000කට පමණ මාසිකව රුපියල් 10000ක ආධාර මුදලක් ලබාදෙන බවත් පෙන්වා දුන්නා. එමෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්රවේශ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් ස්ථාන, රෝහල් ආදී රාජ්ය ආයතන සඳහා ප්රවේශ පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කර ඇති බවද සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්රී සුගත් වසන්ත ද සිල්වා මහතා මාධ්ය අමතමින් සඳහන් කළේ යැපුම් මානසිකත්වයෙන් මිදී අභිමානවත් පුරවැසියෙකු ලෙස ජීවත් වීමේ අයිතිය ආබාධ සහිත පුද්ගලයන්ටද හිමි විය යුතු බවයි. ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජ සවිබලගැන්වීම් අමාත්යාංශයෙන් ක්රියත්මක කර ඇති Next Dream වැඩසටහන ඒ සඳහා ඉවහල්වන බවයි.
මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අමාත්‍ය උපාලි පන්නිල මහතා, ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශයේ ලේකම් සම්පත් මන්ත්රිනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහතා, කර්මාන්ත හා ව්යවසායකත්ව සංවර්ධ අමාත්යාංශයේ අතිරේක ලේකම් සුසන්ත ජයතිලක මහතා, ආබාධ සහිත පුද්ගලයින් පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධයක්ෂ ජයමාලි වික්රමාරච්චි මහත්මිය, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ දර්ශණී කරුණාරත්න මහත්මිය, සේවා යෝජක ආයතන ප්රධානීන්, රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් එකව සිටියා.